මිනිස් ජීවිතයම රිද්මයානුකූල කරන්නේ හදවතයි. ඒ රිද්මයානුකූලභාවය කුමන හෝ හේතුවක් නිසා බිඳ වැටුණොත්, රිද්මය වෙනස් වුණොත් මිට මෙල වූ අතක් තරම් විශාල හදවත තරමක පොල් ගෙඩියක් තරමට විශාල වුණොත් එය ජීවිතයට අවසානය ළං කරන හේතුව විය හැකිය.
වෛද්‍යවරුන් මේ කුමන තත්ත්වයට ප්‍රතිකාර කළ ද රෝගියා ද ඇවතුම් පැවතුම් නිවැරැදි කරගත යුතුය. පිරිමියෙක් නම් දුම්පානය නතර කිරීම අනිවාර්යය. වැඩි බර අඩු කරගත යුතුය. දියවැඩියාව ඇත්නම් පාලනය කළ යුතු වේ. රුධිර පීඩනය වරින් වර මැන බැලිය යුතුය. වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කළ යුතු වේ.සුව නින්දක් අත්‍යාවශ්‍යය. තවදුරටත් හදවත නොරිද්දවීමට නම් රෝගියකුට කළ හැකි දේ බොහෝය.
ලුණු අඩු කරන්න:-
හදවත විශාල වූ රෝගීන් හැකි තරම් ලුණු සීමා කළ යුතුය. ඕනෑම හදවත් රෝගයකට ලුණු අහිතකරය. රෝගය දරුණු අතට හැරවීමට ලුණු හේතු වේ. ලුණු සිරුරේ වැඩි වූ විට සිරුරේ තරල තැන්පත්වීම වැඩි වේ. පාද වැනි ශරීරයේ පහළ කොටස් ඉදිමීම එහි ප්‍රතිඵලයකි. හුස්ම ගැනීම අසීරුවන අතර හදවතට ස්පන්දනය වීමට වැඩි වෙහෙසක් දැරිමට සිදුවේ.
සකස් කළ මස්, (හොට් ඩෝග්ස් වැනි), අච්චාරු, එළවළු යුෂ, චීස්, ක්‍රැකර්ස්, සැලඩ් ඩ්‍රෙසිං වැනි අද කාලයේ ආහාර බොහොමයක ලුණුු අධික ලෙස අඩංගුය. දිනකට මේ අය ලුණු මිලිග්‍රෑම් 2,000 කට වඩා අඩුවෙන් කෑමට ගත යුතුය.
දියවැඩියාව ඇත්නම් එය පාලනය කළ යුතු වේ. හදවත විශාල වූ රෝගීන් ඇතුළු සියල්ලන්ට මෙය පොදුය. රුධිරයේ සීනි මට්ටම වැඩිවීම හදවත් රෝග අවදානම වැඩිකරයි. සීනි හා පිටි ආහාරවලින් සීනි මට්ටම වැඩිවන නිසා ඒවා ද සීමා කළ යුතු වේ.
අධික මත්පැන් පානයට තිත තබන්න. මධ්‍යසාර හදවත අකර්මණ්‍යවීමට, විශාලවීමට, රුධිර පීඩනය වැඩිවීමට, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීමට, හෘද ස්පන්දනය වැඩිවීමට, හදවතට විස එක්වීමට හේතුවේ.
මේද ආහාර අඩු කිරීම අන් සියලු කාරණා මෙන්ම ඉතා වැදගත් දෙයකි. හදවත විශාලවීම තනි රෝගයක් ලෙස හැඳින්වීමට නුපුළුවන. එය වෙනත් රෝගයක ලකුණකි. ඖෂධ, සැත්කම් වගේම ව්‍යායාම ද මේ අයට රෝග පාලනයේදී වැදගත්ය. හදවත විශාලවීමට බලපෑ හේතුව අනුව වෛද්‍යවරයා කළ යුතු ව්‍යායාම තීරණය කරයි. අනිවාර්යයෙන්ම ව්‍යායාම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි.
වෛද්‍ය උපදෙස් පරිදි ගන්නා ව්‍යායාම හදවතේ බිත්තිවල ඝනකම අඩු කරයි. හදවතේ ධාරිතාව අඩු කරයි. එයරොබික් ව්‍යායාම හෘද ක්‍රියාකාරිත්වය වැඩි කරන බව, අකර්මණ්‍යතාව අවම කරන බව, විශාල වීම අඩු කරන බව අමෙරිකානු හෘද රෝග ජර්නලය මඟින් පෙන්වා දී තිබේ. විටමින් ‘සී’ අධික ආහාර ගැනීම ඉතා වැදගත්ය. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ හොඳින් විටමින් ‘සී’ අඩංගු ආහාර ගන්නා අය හෘද අකර්මණ්‍යතාවට ගොදුරු වන්නේ අඩුවෙන් බවයි.
හෘද මාංසපේශි කාරණා ගණනාවක් නිසා අකර්මණ්‍ය විය හැකියි. වයස්ගත වනවිට හෘද මාංසපේශි ද දුර්වල වන අතර ඇති තරම් පෝෂක ද නොලැබේ. තදබල හෘදයාබාධයකදී රෝගියා මිය නොගියත්, හෘද මාංසපේශීවලට සැලකිය යුතු තරම් හානියක් සිදුවේ. හදවත ඉතා දුබල වේ. අධික රුධිර පීඩනය, රක්තහීනතාව, කපාට ගැටලු, වෛරස්, ක්ෂුද්‍රජීවී ආසාදන සියල්ල පාර කපන්නේ හදවත දුර්වලවීමටයි. මෙවැනි තත්ත්ව නිසාත් වයස නිසාත් දුබල වන හදවතට විටමින් සී, මැග්නීසියම්, ඔරොටික් අම්ල වැනි පෝෂක අවශ්‍යය.

විටමින් ‘ඩී’ හදවත අධි ක්‍රියාකාරීවීම හා විශාලවීමට එරෙහිව සටන් කරයි. හෘද රෝගයකින් හදවතට හානි වුව ද ඉන් ඇති විය හැකි හානිය අවම කරයි.
මිචිගන් සරසවිය විටමින් ‘ඩී’ හඳුන්වා ඇත්තේ ‘හදවත සුවපත් කරන්නා’ ලෙසිනි. පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට විටමින් ‘ඩී’ හදවතේ සෛල විශාල වීම වළක්වයි. හදවතේ සෛල විශාල වූ විට හදවත විශාල වී අධි ක්‍රියාකාරී වූ විට හෘදය අකර්මණ්‍යතාවට පත් වේ. හෘද අකර්මණ්‍යතාවට පත්වන පුද්ගලයන්ගෙන් අඩකට වඩා වයස අවුරදු 75 ට වැඩි පුද්ගලයන් ය.
හෘදයාබාධයක් යනු ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමය. හානියට පත් වූ කොටසේ කැළලක් ඇතිවන අතර එය සුවවීමට සති 6 - 8 ක් ගත වේ.
කැළල හොඳින් සුවපත් වීමට එය සෑදෙන කාලයේ හැකි තරම් විවේකයෙන් සිටිය යුතුය.
- හදවත් රෝගයකට පසු පළමු සතිය
- මුල් පැය 72 සම්පූර්ණයෙන් ඇඳ විවේකයෙන් සිටිය යුතුය. ඇඳෙන් බිමට බැසීම පවා නොකළ යුත්තකි. මේ කාල සීමාවේදී භෞත චිකිත්සකයකු වෙතින් අත් පාවලට කිසියම් ව්‍යායාමයක් ලබා ගත යුතුය.

හතරවැනි දිනයේදී ඇඳෙන් බැසීමට භෞතික චිකිත්සකවරයකුගේ සහාය පැතිය යුතුයි. ඇවිදීමට පටන් ගත යුත්තේ ක්‍රම ක්‍රමයෙනි. මුලින්ම ඇඳ අසල පුටුවක වාඩි වෙන්න. උදයට වරක් සවසට වරක් වශයෙන් දෙවරක් ඇඳ වටා ඇවිදින්න. තෙවැනි දිනයේ දී නිදන ඇඳ සකස් කිරිම, කුඩා කාමරයක් අතු ගෑම, පොඩි ඇඳුම් කීපයක් ස්ත්‍රික්ක කිරීම, පිඟන් සේදීම වැනි සුළු ක්‍රියාකාරකම්වල නිරත වන්න.
හෘදයාබාධයකින් පසුව ඉහත කි විවේකි සමයේ තවත් අයකු සමඟ ගෙවත්තේ කෙටි දුරක් ඇවිදින්න. ලයිට් කණු දෙකක දුර ප්‍රමාණය ඇවිදීමෙන් පටන් ගන්න. දවසින් දවස ලයිට් කණුවෙන් කණුවට ඇවිදින දුර වැඩිකර ගන්න.
සති අටකදී සාමාන්‍ය වේගයෙන් ඇවිදින්න.
මොනම අවස්ථාවකදීවත් පපුවේ වේදනාවක්, පපුවේ බර ගතියක්, හුස්ම ගැනීමේ අපහසුතාවක්, කරකැවිල්ලක් ඇති වුණොත් වහාම විවේක ගෙන වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උපදෙස් - හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකලිව්වේ චම්පිකා දීපානි රණසිංහ
උපුටා ගැනීම හා සැකසීම Helabojun Team